“ඉතින් කියන්ටකෝ කලුකඹරෑවෙ වග තුග.” යි මිලිනා විපුලෙට කීවාය.
“මොනව කියන්ටද, කොතැනත් එකමයි”
“එහෙත් වීරපුර වගේ ද?”
“ඊට හපන්”
“හේතුව?”
“ගුරුවරුන් ඔක්කොම ගමේ අය. ළමයිනුත් ගමේ අය. එකම නෑදෑයෝ. යාළු මිත්‍රකම් තරහ මරහ අනුව
තමයි පාසැලේ කොයි දේත් සිද්ධ වෙන්නෙ. මං හිටියෙ එකම අවුරුද්දයි. ඒ කාලෙට
විදුහල්පති වරුන් තුන්දෙනෙක් ආවා - ගියා. එයින් එක්කෙනෙකුට ගුරු මණඩලය විරුද්ධ වුණේ
ගුරුවරියක වූ බිරිදගේ නීති රීති වලට හිස නමන්න බෑ කියල. අනික් එක්කෙනාගේ නීති තද
වැඩියි - මොකද ගුරුවරුන්ට පාසැල් කාලය තුළ තම කුඹුරු වතු පිටිවල වැඩට යන්ට පහසු
කම් නෑ. උදේ වැඩ ඉවර වෙලා පාසැලට නවයට විතර යන කොට රතු ඉර ගහල වගේ ඒවා තමයි චෝදනා.
තුන් වැන්න ගමේ ගෙවල් ගානේ ඇවිදිනවා පාසැලේ අඩුපාඩු ගැන දෙමාපියන් සමග කතා කරණවා.
කාලසටහනේම එල්ලිලා ඉන්නවා වගේ දොස් ගොඩයි”
“ඉතිං විපුලෙ මොනවද කළේ?”
“මං ඔය එක පැත්තකටවත් ගැති වුණේ නෑ. හේතුව ඒ පාසලත් මාත් අතර විශාල
සම්බන්ධයක් තිබුණා. මං කළේ හරියට නූලට අකුරට රාජකාරියේ යෙදීමයි. එකම ප්‍රාර්ථනය
වුනේ S.S.C පන්තියේ සිටි ළමයින් 10 දෙනාම කොහොම හරි
විභාගයෙන් සමත් කරවීමයි. ඒ වගේ ම ඔවුන්
සමත් වුණා. අදත් මට ඒ ළමයි අතර මගදී හමු වෙනවා. ඒ හැම කෙනෙක්ම රජයේ රැකියාවල
යෙදිලා. කොතැන දී දැක්කත් කකුල් දෙක අල්ලලා වඳිනවා.”
“මගේ
සේවා කාලය තුළ දින සටහන් වාර සටහන් හරි පාඩම් සටහන් ලිව්වේ නෑ. පන්තියට යන්නේ හුණු
කෑල්ලක් විතරයි අරගෙන. අනුන්ගේ සටහන් කියවල ලියල ඉගෙන ගත්තෙත් නෑ. ළමයින්ට සටහන්
ලියන්ට ඉඩ දුන්නෙත් නෑ. හරියට පාඩම අසාගෙන
සිටිය යුතුයි. නො වැටහුණා නම් කීප වරක් වුව ප්‍රශ්න කර නිරාකරණය කර ගත යුතුයි. ඒ
වගේම පාඩම වෙනුවෙන් දෙන ප්‍රශ්නවලට නිසි පරිදි පිළිතුරු ලිවිය යුතුයි. මා විසින්
කළුලෑල්ලේ ලියූ දේත් පොත්වල සටහන් කළ දේත්, තවමත් ඇස් පනා
පිට පෙනෙන බව එසේ හමුවන දරු දැරියන් ගෞරවයෙන් කියා පානවා.
විවිධ
පාර්ථනා පොදි බැඳගෙන ආවත් අධ්‍යාපන රටාවට අනුගතව ක්‍රියා කිරීමේ දුෂ්කරතා රාශියක් කලුකඹරෑවෙදි
අත් දකින්නට ලැබුණා. විටෙක විදුහල්පති බිරිඳ සිසුන් සමඟ වැඩි ඇයි හොදැයියකට නොයන
ලෙස උපදෙස් දුන්නාය.”