පසු
දිනට පහන් විය. එකිනෙකාට කඩල පැකට් දෙමින් සියල්ලන්ම බස් රථවලට නංවනු ලැබිණ.
පළමුවෙන් බසයට නැග ගත් මිලිනා ඇය අසළ
කොටස මා වෙනුවෙන් වෙන් කරගෙන සිටියාය. විපුලෙ සංවිධායක සමඟ බර සාකච්ඡාවක
යෙදී සිටී.
“අරූ ඊයෙ රෑ වෙච්ච දෙවල් අර මිනිහට කියනව වගේ”
“අහවල් එක කියන්ටයැ - නමට පිරිමි. එදාම මං ඔයාට කීවානේ බකසු තාපසයා.”
“ඒකනෙ
බුදුන් කියල තියෙන්නේ ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’” කියල .
“ඔයා ඉතිං බණ කිය කියා ඉන්ට. තව දවස් කීයද මේ රටේන් පිට වෙන්න තියන්නෙ?”
“ඇයි ඒ රටේ දි බැරිද?”
“ආ ... ඒක ද එහෙනං අදහස!” කියමිං මිලිනා
මගේ වම් ගාතයේ පැත්තක් උගුලුවා ගැනීමට මෙන් තදින් මිරිකුවා ය.
සාකච්ඡාවෙන්
පසු විපුලසේන මහතා අප සිටි තැනට ආවේය. මා වහා නැගී සිටියේ මිලිනා අසලින්ම ඔහුට ඉඩ පහසුකම් සලසා
දීමේ අරමුණෙනි. මිලිනා නැගිටින්නට
නොදී අදී. විපුලෙ මාගේ උරපත මත අත තබා තද කරයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්
දෙදෙනා අතර වාඩි වීමට සිදු විය.
“මහා කොප්පරා ගදක් එනවා ...”
“ඇයි මං ළඟ ද?” විපුලෙ අසයි.
“මං ළඟද?” මිලිනා අසයි
“උඹල දෙන්නම උදේ නෑවෙ නෑ නේද?”
“හරි නරකයි අනේ ....” ඒ මිලිනා.
“මං නං නා කියා ගත්තා” - විපුලෙ.
“මටත් සිදු වුණේ එහෙම එකෙක් ගන්ට තමයි.” මිලිනා පවසයි.
පසුගිය
රාත්‍රියේ සිදුවීම් මෙනෙහි කිරීමෙන් අනතුරුව පාතරාසයට දුන් කඩල කමින් නව ස්ථාන
මාරුවේ තොරතුරු හෙළි කරණ ලෙස විපුලෙගෙන් ඉල්ලා සිටියෙමු. ඔහු මඳක් කල්පනාවට
වැටී, අවසන් කළ තැන සිහියට නගා ගනිමින් කටට යන කඩල ඇටයටත් කතාවටත් මුව විවිර කළේය.
මං
ඒ ඉස්කෝලෙ ගැන හොදට දන්නවා. මොකද ගම ළගමනෙ තිබුණෙ. විදුහල්පති ගුරු මණ්ඩලය
දෙගුරුන් ගැන විශේෂ දැනීමක් අවශ්‍යව තිබුණෙ නෑ. නම නම්බුව තියාගෙන ගමේ පාසැලට -
ඉගෙන ගත් පාසැලට කිසියම් සේවයක් කිරීමයි මගේ අරමුණ වුණේ. ඒකට එරෙහි වන්නන් කාට වුවත්
විරුද්ධ විය යුතු බව මගේ යටි හිත කීවා.