නඩයෙහි
වූවෝ එකිනෙකා තම තමන් පැමිණ බස් රථවලට නගිති. යාචකයෝ එක දිගට වැල නො කැඩී ආධාර
ඉල්ලති. සංවිධායක වරයා කියා තිබුණේ යාචකයන්ට ආධාර නො දෙන ලෙසත් දුන්නොත්
සියල්ලන්ටම දිය යුතු බවයි. එසේ නො කළොත් බස් රථවලට පවා ගල් මුල් පහර එල්ල වන බවයි.
මෙරට
යාචකයන්ට පවා ජීවිතේට එක ශතයක් නො දුන් මට, ඉන්දීය හිඟන හැත්ත ප්‍රශ්නයක් නො විණි.
අනුන්ගෙන් අත පා ඉල්ලන යාචකයන්, වැලක එල්ලෙන ගෙඩි සේ දුසිමක්
හමාරක් දරුවන් ලබා ඇත. යාචක ප්‍රජාව රටකින් තුරන්
කිරීමට ඇති හොදම ක්‍රමය අත පාන්නන්හට ශතයක් වත් නො දීමයි. අද අප රටේ ද බසයක
දුම්රියක යා නො හැකිය. වෙහෙරකට විහාරයකට යා නො හැකිය. හේතුව විවිධ මාදිළියේ
යාචකයන්ගේ උවදුරයි. මොවුන් අතර කෝටිපතියන් සිටින බවත් මත්ද්‍රව්‍ය හා ගණිකා
වෘත්තිය මෙහෙයැවීම් කරණ බවත් මාධ්‍ය මගින් දැන ගන්නට ලැබෙයි. කෙසේ වුවත් යාචකයන්
බිහි වන්නේ පාලකයන්ගේ වරදින් බව අවසාන නිගමනය යි.
බසයට
ගොඩ වැදුන විපුලෙ මිලිනාගෙන්
සමාව අයැදමින් සිටී. ඇය විපුලෙ දෙස නො රුස්නා බැලුම් හෙළයි. කිසිවක් නො සිදු
වූ පරිද්දෙන් මම අසුන් ගතිමි. සියලු තරහ මරහ අවසන් විය. මිලිනා තේ පැන් සංග්‍රහයක් කළාය. ගිජ්ජකූට වෙළඳ පොලෙන් විපුලෙ
ගත් මුරුක්කු බසයේ සිටි සැමට ම බෙදුවේ මිලිනාය.
අප තිදෙනා අතර පැවති සහ සම්බන්ධතාව සෙසු මගීන්ට අරුමයක් නො වූයේ ඇතැම් විට
ඔවුන්ගෙන් සමහරක් අපේ කථාවට අතරින් පතර සහභාගී වී සිටි බැවිනි. මා අත තිබුණ පොතේ
යම් යම් සටහන් යොදා ගැනීම නිසා මෙය බරපතල සාකච්ඡාවක් වශයෙන් මගියෝ සැලකූහ. මේ නිසා
අප අතර පැවති නො මනා හැසීරීම් වලට එම හැගීම් බලවත් ආශිර්වාදයක් විය. තේ පැනින් නව
ජවයක් ලත් විපුලෙ තම කතාව ඇරඹුයේ මිලිනාගේ
ආදර බර සංග්‍රහයන් සිහිපත් කිරීමෙනි.
“පහුවදා පාසැලට ගියා. පුස්තකාලාධිපති මට අත වැනුවා ඔහු ළඟට එන්න කියල -
මාත් ගියා. ‘විපුලෙ මල්ලි උඹට විරුද්ධව ඊයේ රාත්‍රියේ මන්ත්‍රී තුමාගේ ගෙදර
පැමිණිලි ගොඩයි. විස්තර කියා කියා ඉන්ට දැන් බෑ. උඹට විවේකයක් තියෙන කොට ඇවිත් මං
හමු වෙයං’ කියා ඔහු යන්ට ගියා.
මන්ත්‍රීගේ
ගමන් බිමන් වල දී ඔහු රියැදුරු කමත් කරණවා. කා සමගත් සුහදව ආශ්‍රය කරණවා. බොහෝ
දෙනෙකු කීවේ දිය යටින් ගින්දර ගෙන යන කෙනෙකු කියල. තුන් වන කාලඡේදය මට විවේකයි.
විදුහල්පතිට කීවා විවේක කාලඡේදයක් නිසා
විශේෂ කටයුත්තකට පුස්තකාලයට යනවා කියා. ඔහුත් කැමැත්ත දුන්නා. පන්ති දෙකක
ළමයින් පුස්තකාලයේ සිටි නිසා අපි දෙන්නා ඉදිරියේ ඇති ඇහැළ ගහ ළඟට ගියා.”
“විපුලෙ මල්ලි වැඩේ හිතන තරම් ලේසි නෑ. ඊයෙ
රෑ එක දෙක වෙනකල් මන්ත්‍රී තුමාගෙ ගෙදර ඔයා ගැනයි කථාව”
“මන්ත්‍රීගෙ ගෙදර මං ගැන ...?”
“ඔව් නෙ, එතැන හිටිය කට්ටිය ගැන මගෙන් අහන්නට
එපා.”
“ඉතින් මොනවද කතා වුණේ?”