“පුඃ! දේශපාලනඥයන් ගැන මගෙන් අහගන්නවා. දෙශපාලනඥයා කරන්නේ පළමුවෙන්
විරිත්තලා නියවලා වටා පිටාවේ ඉන්න දක්ෂයන් ටික බිලී බාගන්නවා. උන්ගේ පිහිටෙන් බලයට
පත් වෙනවා. බලය ලබා ගත් වහා ම කරන්නේ අර දක්ෂයන් ටික මොන උපක්‍රමයකින් හරි
තමන්ගෙන් ඈත් කිරීම. තමන්ගේ වංචා හොර බොරු දූෂණවලට කර උර දෙන්ට පුළුවන් හරක් ටිකක්
ළං කරගන්නවා. උන් මගින් ‘සර්’ - ‘මැඩම්’ - ‘බේබි’
කියන වචන වලින් තමන්ගේ පවුලේ උදවිය හඳුන්වා ගන්නවා. අතේ මුදල් වියදම් කරගෙන
ගෙදරින් බත් එක ගෙනැවිත් කාපු උදවු කරුවන් මන්ත්‍රීගෙ ගෑණිට ‘මැඩම්’ කියාවියැ. උන්
පරණ විදියට ම ‘අක්කා’ හරි ‘නංගී’ කියනවා. උන්ගේ දරුවන්ට ‘බේබි’ කියාවියැ, වෙනදා
වගේ ‘දුව’ ‘පුතා’ කියල අමතනවා. එහෙම කතා කරීම දේශපාලකයන්ට පිහි පාරකටත් වැඩිය
සැරයි. ඒ නිසා ක්‍රමයෙන් අයින් කරණවා. මන්ත්‍රීලා විතරක් නොවෙයි. ඇමතිලාත් අනික්
මන්ත්‍රී වරුන්ගෙන් ‘සර්’ කියා අහ ගන්ට හරි ආසයි. ඔය ක්‍රමය
ජනාධිපති දක්වාම යනවා. ඒ අයත් දක්ෂ මන්ත්‍රී වරයෙක් ඇමතියෙක් සිටියොත් ඌට ඔලුව
උස්සන්ට දෙන්නෙ නෑ.”
“හරි හරි ඒක තමයි මේ අපිත් එක්ක එක කුඹුරෙ ඉපනැල්ලෙ ඉඳගෙන රොටිය දෙකට
කඩාගෙන කාලා, අතට සීනි ටික අරගෙන පොල්කට්ටෙ තේ බීපු එකීලත් අද ‘ලොකු මැඩම්ලා’ වෙලා
ඉන්නෙ”. ඒ මිලිනාගේ
අත්දැකීමක ප්‍රතිඵලයක්.
රාත්‍රි
නවාතැන්පලට බසය සේන්දු විය. සංවිධායක වරයා විසින් ගැහැණු පිරිමි වශයෙන් පෙන්වන ලද
ශාලාවලට නඩයේ උදවිය යා යුතු විය. වහ වහා මා වෙත ආ මිලිනා “අද අරයට කුද ගහගන්ට වෙයි.” කියා
පිට මන් වී ගියාය. පයිප්ප වතුරෙන් නා ගැනීමෙන් පසු ගතට දැනුනේ අපමණ සුවයකි. එය
තවත් වැඩි කරන්නටදෝ කිරි තේ කෝප්පයක් අතට ලැබිණ. පෙර දින බෝතලය මගෙන් වූ නිසා අද
එය විපුලගෙ රාජකාරියකි. අද ඔහු එය ඉටු කර ඇතැයි යනු මගේ විශ්වාසය විය.
කොතැනක සිට හෝ ඔහු මා සොයා පැමිණෙන බව දන්නා නිසා එළිපහළියේ ගසක් මුල හිඳගතිමි.
“ඒයි මෙතැන බෑ යමං අර අයිනකට” කියමින් මා අසල
පහළ වූයේ දෙවියෙකුදැයි සැක සිතුණි. විපුලෙ තම ගමන් මල්ලත් එල්ලා ගෙන පන්සලේ
බිමෙන් පිටත ගසක් මුල හරි බරි ගැසී වාඩි විය. නො දුරේ කොළුවෙකු සමග වඩේ විකුණන
ගැහැණියකි. විපුලගේ උකුසු ඇස්වලට එම දසුන වැටෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. පළමු වඩිය ඇද දැමු ඔහු වඩේ කාරිය වෙත
ගියේය. වඩේ හතරක් කොලයක ඔතාගෙන නො පමාවම
ආවේය. “වැඩක් නෑ බං ඒකි බඩින්” ඉදුණු
ගොරකයක් කෑවෙකු සේ කට බෙරි කරමින් කීවේය.
“අරයා අද ශාලාවක. විපුලෙට දුකද?”
“මොන දුකක් ද? එයා අපිට වැඩිය කපටියි.”
“ඒ කීවෙ?”
“දිල්ලියෙන් එයාට හොද සාරි ටිකක් අරන්
දෙන්නලු”
“ඉතින් ඔයා මොකද හා කීවද?”