“කාරණය ඇත්ත. හැම ගමකම පාසැල් අටවනවා. දේශපාලන බලිබූතයන්ට පත්වීම්
දෙනවා. පාසැලක පළමු සම්පත දරුවන්. දරුවන්ගේ පැත්ත ගැන එකෙක්වත් හොයන්නෙ නෑ. හැම
දෙමාපියෙක් ම කැමතියි තම දරුවන්ට රජයේ රැකී රක්ෂා අරන් දෙන්ට. ඒත් උන් වෙලාගෙන
තියන හිඟනකම නිසා උන්ගෙ දරුවන්ට සිද්ද වෙන්නේ කැත්තයි උදැල්ලයි අමුඩෙටයි උරුම කම්
කියන්ට විතරයි.”
“අපිට ඕවට කරන්ට දෙයක් නෑ. අපටත් කියන්ට තියන්නෙ වයසක උන්දැලා වගේ ‘ඕක
කරුමෙ, පතාගෙන ආපු හැටි’ කියල විතරයි ”
“නෑ මං ඒක පිළිගන්නෙ නෑ. ‘කරුමෙ’ ‘දෛවය’ කියන
ඒවා පිට කොන්දක් නැති අයගෙ කතා. මං සාමාන්‍ය වැඩ පිළිවෙළක් යෝජනා කරන්නම්. ඒක
ඔබ තුමාගෙ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරන්න කැමතිද?”
“මොකක්ද ක්‍රියා මාර්ගය?”
“දැන් බෑ. හිතුණ හින්දා කීවා. ඒක තව ටිකක් විමසලා හැන්දෑවෙ කියන්නම්.”
1-2 වසර සිසුන් යැවීමෙන් පසු එම ශාලාවේ මගේ නිවහන අබියස ඇති කනේරු ගස මුල
තැනූ ලිපෙන් බතක් හා පරිප්පු ව්‍යංජනයක් සාදා කරවල කැබැල්ලක් තෙල් දැමුවා. මං ඒ
පැත්තෙ ගැවසුණ නිසා එහි සිටි ගුරුවරියන් දෙදෙනාත් අනිත් ශාලාවට ගියා.
“ඉතින් ලොකු මහත්තයලෑ ගෙදරින් බත් කන්ට තිබුණානේ” ඒ මිලිනාගේ අදහසයි.
“ඒක හරියන වැඩක් නො වෙයි. අපි කොහොම ද දන්නෙ ඒ අයගෙ ආර්ථික තත්වය. නිකන්
කන්ට දෙන්ටත් බෑ සල්ලි ගන්ටත් බෑ. මගෙ පැත්තෙනුත් එහෙමයි. අඩුවෙන් දෙන්ටත් බෑ
වැඩියෙනුත් දෙන්ටත් බෑ. අනික ගෙදර නගා ඉන්නවා. නෝනා ගෙදර නෑ පුහුණුවට ගිහින්.
ලොක්කත් කොහේ හරි ගිහින්. මං කෑම බීමට එතැනට ගියාට පස්සෙ යමක් වුණොත්. ඒවාට තහංචි
දාන්ට වැටවල් බදින්ට බෑනෙ. ලොක්ක ඇවිත් කීවා දවල්ට කෑමට එන්ට කියලා. මං උයපුවා
පෙන්නුවා. ‘යකඩො ඔය අස්සෙ ඉවුවද? යකඩ මිනිහෙක්නෙ’ කියල
ගියා. හැබැයි යන ගමන් කීවා රෑ බතට නො වරදවාම ගුරු නිවාසෙට එන්ට කියා.”
ස්ථාන
මාරුවේ බරපතළ කම තේරුණේ පාසැල විවේක කිරීමෙන් පසුවයි. ඇහැට පෙනෙන මානයේ කවුරුත්
නෑ. යන්ට එන්ට තැනකුත් නෑ. මුල් ගුරුගේ සිඟිති දියණියයි ඔහුගේ නැගණියයි විතරයි ගුරු නිවාසයේ. ගෙතුළට එන ලෙස
ඇය ආරාධනා කළත් එය නො ඇසුණ ලෙස ආපසු හැරී ආවා. වාහන යන පාරට කිලෝ මීටරයක් විතර
තිබුණා. බස් එන තුරු වාඩි වෙන්ට පිට ලෑල්ලකින් හදා තිබුණ බංකුවක මාත් ඉදගත්තා. බඩ
පපුව ඇඟිරි ගානවා පත්වී ඇති ඉරණම නිසා. වෛරය, ක්‍රෝධය,
පළිගැනීම, වගේ සිතිවිලි එකින් එකට වද
දෙන්ට පටන් ගත්තා. මං දන්නෙම නෑ මුල්ගුරු වික්‍රමසිංහ මහත්තයා කොතෙක් වෙලා
මං ළඟ හිටියද කියා.