“ඇයි විවේක වෙලාවෙ තේ බොන්ට නාවෙ?”
“අන්න අර නෝනලගෙ බෝතලයකින් තේ වගයක් දුන්නා.”
“රස ඇති ඒ තේ.”
“ඔව්නෙ ඒ තේ රසයි. හේතුව මේ ළිඳේ වතුර කිවුල්. කිවුල් වතුරෙන් තේ
හැදුවහම මහ පල් රසයක් එන්නෙ.”
“අපිට කොහෙන්ද ඉතිං ඒ වගේ උල්පත් වතුර.”
“උල්පත් ඕන නෑ. ඉන්ටකෝ මං උල්පත් වතුර හදල දෙන්ට”
ලොකු
තඹයක් තිබුණා. හොඳට හෝදලා පිරෙව්වා වතුර. එළියේ ලිප්ගල් උඩ තියල දැම්ම
ගින්දර. දරවලින් හිගයක් යැ හොඳ අන්දර ලී හත අටක් දැම්මා. කසේට ගින්දර
නැග්ගා.
මට
හිතුණා විමලාගේ තොරතුරු ටිකක් අහන්ට. පටන් ගත්තේ අධ්‍යාපනයෙන්.
“අයියලා ගොඩක් මහන්සි ගත්තා. SSC වලට ලිවුවා වැඩ හතරයි පාස්.”
“තව සැරයක් ගන්ට තිබුණනේ?”
“මට බෑ කියල හිතුණා”
“විභාගෙ බැරිනම් විවාහයක් කරගන්ට තිබුණනේ”
“ඒකටත් හරියන කෙනෙක් ඉන්ට එපායැ”
“කොහොම කෙනෙක්ද හරියන්නෙ?”
“ඔයා වගේ කෙනෙක්”
“මොකද මගේ තියෙන විශේෂය?”
“ලස්සනයි, උගත්, හැමදෙයක්
ම දන්නවා. අහංකාර කමක් නෑ”
“එච්චර ද? තව මොනව ද?”
“තව ඒවා මං පස්සෙ වෙලාවක බලලා කියන්නම්!”
එයා
මගේ ලගින් අයින් වුණේ නහය මිරිකමින් “හපන්ට හිතෙනවා”
කියා.
“අනේ මේ බොරු කියන්ට එපා. එක දවසට ගෑණියත් ඔහොම ඇඟට එයිද?” ඒ ප්‍රශ්නය මිලිනාගෙන්.
“අයිසෙ පොතේ තියනවා අත්තනාව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච කියල. ඒ
කියන්නෙ තමන් ගැන හිතල ලෝකය දෙස බලන්ට කියන එක. දැන් තමුසෙ මට කොක්ක ගැහැව්වෙ මාස
කීයක් ගියාට පස්සෙ ද? ආදරය මනෝ මූලිකව හැදී වැඩී
යන්නක්. ඒකට දින සති මාස අවුරුදු ගණං යනවා. නමුත්
රාගය එහෙම නො වෙයි. අසුරු සණක් ඇති. මුල් දවසේ ම තමුසෙ කපාපු කිකිළි
වගේ දඟලපු දැඟලිල්ල අපි දෙන්නම බලාගෙන නෙ හිටියෙ”