“මං කියන්ට හිටියෙ ඔය විමලා හොද ගෑණියක් නො වෙයි. දීගයක් ගිහින්
ඇරවිලා. මේකට ඉස්සර ආපු ගුරුවරුන් දෙන්නෙක් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. එයින්
එක් කෙනෙක් අඹු දරුවන් බලන්ටවත් පස්සෙ ගියෙ නෑ. අයියයි නගයි අර මනුස්සයගෙ සබ්බ
සයුරම හූරා කෑවා. එයාගෙ නෝනත් එක විදියක අඟක්. ටිකක් කල්පනාවෙන් වැඩ කරන්ට!”
මාත්
කීවා ඊයෙ ඉඳන් මේ වන තෙක් සිදුවුණ පුවත්. “ලොක්ක ඔය ගියේ
කන්තෝරු නො වෙයි ගමේ කුඹුරු බලන්ට. සමහර විට අද එන එකකුත් නෑ. තනියි කියල ගුරු
නිවාසෙට නිදාගන්ට එන්නත් කියයි.”
“කාටද එහෙම ගෙන්න ගන්ට ඕනෙ කම තියන්නෙ?”
“එකියකට නෙමෙයි දෙන්නටම”
හැබැයි
තුනට විතර ලොක්ක ආවා. ඔහු කන්තෝරුවේ විස්තර කීවා. මට තේරුණා ඌ කෙලින්නෙ
ඉන්තේරුවෙන්ම පච වග. ඒත් කියූ දේවල් පිළිගත්ත වගේ හැසිරුණා.
“නංගී මහත්තයට කන්ට දුන්න ද?”
“ඔය උඩින් පල්ලෙන් කාලා සිගරට් ගේන්ට යනවා කියල ගිහින් දැන් ආවෙ”
“ඇත්තද?”
“ඔව් මේ කඩේ නෑ කීවට බලන්ටත් එක්ක දඹවට යන කල්ම ගියා. ගියාට
පස්සෙ හිතුණා සල්ලි වැඩිපුර අරන් ආවානම් එළළුව ටිකක් ගේන්ට තිබුණනේ කියල.”
“ආයෙ අහවල් එළවළු ඔය තියෙන ඒවා මදෑ. පස්සෙන් පහු ගන්ට බැරුවායැ.”
ලොක්ක
හීන් නූලෙන් නූල් සූත්‍රයෙන් කටයුතු කරන්නට දක්ෂයෙක් බව ඒ කතාවෙන්ම පෙනුණා. විමලා
දරුවා අසළ වැතිරී අසංවර සිරුරට තමන් කැමති ලෙස හැසිරෙන්නට ඉඩ දී සිටි අයුරක්
පෙනුණා. කොහොම නමුත් එදා දවස දැනුම් සම්භාරයක් ලබා ගැනීමට ප්‍රයොජනවත් වුණා. රාත්‍රි
ආහාරයට සකස් කර තිබුණේ දඩමස් සමග කුරක්කන් රොටී. පෙර දින බතට වඩා කුරක්කන් රොටී
තලප හා පිට්ටු වලට වඩාත් කැමති බව කීම නිසා මාගේ දොළදුක සංසිදු වන්නට රොටී හදන්නට
ඇතැයි හිතුණා.
රාත්‍රියක්
ගත වුණා. පසු දිනට එළි වුණා. කළ යුතු පූර්ව කෘත්‍යයන් නිමාවෙන් පසු රාජකාරියට
වාර්තා කළා. දෙමාපියන් තිස් හතළිස් දෙනෙකු පැමිණ සිටියා.
“විපුලසේන මහත්තයා දෙමාපියන්ට එන්ට කීව ද?”
“ඔව් ඊයෙ මං කීවෙ, දෙමාපියන් හමුවෙලා ළමයින් පාසැලට නො පැමිණීම ගැන කතා
කරමු කියල. මේකෙ ළමයින් අඩු වුණොත් අපිට යන්ට සිදු වෙනවා. බැරිවෙලාවත් 6-7-8 පන්ති නවතා දැමුවොත් ඒක ඔබ තුමාටත් හොද නෑ. ඒක නිසා අපි මේක කොහොම හරි
අල්ලාගෙන යන්ට උප්පර වැට්ටියක් යොදමු.”