කවුරු
කවුරුත් රාජකාරිය හමාරකොට පාසැලෙන් පිටවුණා. ප්‍රශ්නය තියෙන්නෙ දවල් කෑමට ගුරු
නිවාසෙට යන්නෙ කොහොමද කියල. දැන් ඒවි දැන් ඒවි දෑස් දල්වාගෙන බලාගෙන ඇති අර
තප්පදෝරුව. බඩ සයින් පෙලෙන්නයැ, අහු වෙන දෙයක් කාලා බඩ කට පුරවා ගන්න එකනෙ
තියන්නෙ. ඇඳුම් මාරු කරගෙන මුව කට දොවා ගියා ගුරු නිවාසයට.
“අද නම් මහන්සි පාටයි?” විමලා කීවා.
“නෑ .... අමුතු මහන්සියක් නෑ. මගෙන් විය යුතු රාජකාරියක් ඉටු කෙරුවා.”
“මං අහං හිටියෙ උදේ දේශනාව.”
“හරි සවුත්තුයි නේද?”
“අපෝ නෑ මගෙත් පපුව දෙදරලා ගියා.”
“කොයි හරියද?”
“ආං .... අතගාලා බලන්ට කොයි හරියද කියල”
“එහෙම බලන්ට කාරියක් නෑ. යස රගේට පේනවා.”
අව
කැපෙන දෙපිට තුන්පිට කැපෙන වචන පිට කරමින් විමලා කෑම බෙදුවා. තොර තෝංචියක්
නැතිව ඇඟේ දැවටුණා. ඒවාට ප්‍රතික්‍රියා නො දක්වන්නට හිත හදා ගත්තේ හරිම ආයාසයෙන්. “මාත් කිරි බීලා ලෙයින් මසින් හැදුන මනුස්සයෙක්නෙ.” යි ලෙන්ගතු ම කාන්තාවක කී වචනයක් සිහියට ආ
නිසා මුනිවත රැක්ක.
“මට පොඩි උදව්වක් කරන්ට පුළුවන් ද?”
“උදව්ව නම් උදව්ව, ඒක ලොකු පොඩි නෑ; මොකද්ද වෙන්න ඕනෑ?”
“මං රෙදි ටික හෝදලා නාගන්න කල් බබා ටිකක් බලාගන්ට පුළුවන් ද?”
“අනේ මේ ටිකක් නං බලා ගන්ට බෑ. බලනවනම් සම්පූර්ණයෙන්ම”
“කාවද?”
“කවුරු කවුරුත්”
“හිතේ ඇති ...”
විමලා
රෙදි කෑලි කීපයකුත් නාගන්ට අවශ්‍ය කළමනාත් ගෙන ළිදට ගියා. දණ බඩ ගාන පොඩි එකත්
උස්සා ගෙන පාසල් ගේට්ටුව පැත්තේ කරකැවුණේ පාසල් පිරියත උදෙසා කළ යුතු අලුත් යමක්
සොයා ගන්ට. වට රවුමක් සහිතව මාර්ග පද්ධතියක් ඇති කළ යුතුයි කියන හැඟීම ආවා. වට
රවුමෙත් මාර්ග වෙන් කිරීමක් කරන්ට ඕනෑ පාත්ති දැමීමෙන්. එකට ගඩොල් අවශ්‍යයි.
පාසැලේ ගඩොල් නෑ. වැව් තාවල්ලෙන් පිඩැලි
ගෙනැවිත් වැඩේ කරන්ට පුළුවන්, ඒත් කාෂ්ටක පොළව තණකොල මැරිලා. පාසැල ඉදිරිපස වත්තේ
නාටු වී ගිය කෙසෙල් ගස් තිබුණා. කැපූ කෙසෙල් ගස් ඇත්නම් ඒවායේ පිති ගලවා පිති වලට
පොහොර පස් දමා නොයෙක් වර්ණ ඇති මුකුණුවැන්නා හැදුවොත් උත්සාහයට නිසි ප්‍රතිඵලයක්
ලැබේදැයි කල්පනා කළා. මුකුණු වැන්න සොයා ගැනීමත් ප්‍රශ්නයකි.