“කොහොමද ගුරුතුමා මොකක් ද හදපු සංවිධාන සැලැස්ම?” යි ඔහු විමසුවා. මැතිවරණ කොට්ඨාශයේ සැලැස්මත් සංවිධාන ව්‍යුහයේ
සැලැස්මත් ඔහුට දුන්නා. ඔහු බොහෝ වෙලාවක් ඒවා එපිට මෙපිට හරවමින් බැලුවා. අන්තිමේ
මෙහෙම අහනවා.
“ගුරුතුමා මිට ඉස්සර දේශපාලන සංවිධාන කටයුතු කරල තියෙනව ද?”
“නෑ ඇයි එහෙම ඇහැව්වෙ?”
“මුලු ආසනය ම එක මිටකට ගන්න පුළුවන් සැලැස්මක් නිසා.”
අපි
අද හෙට ම වැඩ පටන් ගන්න ඕනෑ. රැකියා නැති උගත් තරුණ තරුණියන් කෙරහි අවධානය යොමු
කරන්න ඕනෑ. ඒ එක්කම හැම වෙලාවෙම වැඩිහිටියන්ට මුල් තැන දෙන්ට ඕනෑ. මූණ බලලා අයියේ, මාමේ, සියේ, මස්සිනේ,
වගේ නෑකමකින් ආමන්ත්‍රණය කරන්ට ඕනෑ. පන්සල් පල්ලිවලට සම්බන්ධ අය ගැන අවධානය යොමු
කරන්නට ඕනෑ. තරුණ තරුණියන් හට කප්පරක් බලා පොරොත්තු දෙන ගමන්ම ඒවා ඉෂ්ඨ කරන්ටත් ක්‍රියා
මාර්ග ගන්ට ඕනෑ. එහෙම වුණොත් තමයි ජයග්‍රහණය ලැබෙන්නෙ.
දේශපාලනය
ම කරල හරියනවයැ. යනවා වැවගම පාසලට. ඒක මහ විද්‍යාලයක්. විදුහල්පති වරයාට
පාසලට වැඩක් කරන්ට ඕන කම තිබුණා. ඒත් සෙස්සන්ට එවැනි හැඟීමක් නෑ. ඒකට හේතුව සියළු
දෙනාම දේශපාලන හේතු මත මේ මුල්ලංකරයට තල්ලු කරලා තිබීම. තම තමන්ගේ අඹු
දරුවන්ගෙන් ඉවත් කරලා, හරි හැටි කෑමක් බීමක් නැතිව දහ දුක් විඳින්නන්ගෙන් සේවාවක් බලාපොරොත්තු වෙන්ට පුලුවන්ද? ඒ මදිවට ඔළුව උදුම්මවාගත් නිළධාරීන් කියන එවුන්ගේ අඩි හැප්පිලි වලටත්
මුහුණ දෙන්ට ඕනෑ. හරි හමන් සුදුසුකම් ඇතිව තනතුරු වලට පත් වූ එවුන් නම් කමක් නෑ.
දේශපාලනඥයන්ට බැල මෙහෙවරකම් කර තනතුරු ලබා ගත් පුස්සන්ගෙන් තමයි හරිම වදේ.
ගුරු
මණ්ඩලයේ තිස්තුන් දෙනෙකු හිටියා. එයින් විසි හතක් ම දේශපාලන ගිලටීනයට අහුවුණ
අය. ඒ අතර ළඟ පාත අයෙකුට හිටියේ මං පමණයි. ඒ අතරේ හිටියා ජාතික අධ්‍යාපන සේවක
සංගමයේ ක්‍රියාකාරිකයෙකුත්. ඔහු වහා ම තම සංගමයට මාව බඳවා ගත්තා. ඉදිරියේදී ආසනය
තුළ ජ.අ.සේ. සංගමයේ ශාඛා සමිතියක් පිහිටු වන්නටත් අවශ්‍ය උපදෙස් ඔහුගෙන් ලැබුණා.
කාලසටහනක්
නැති වීමත් කළයුතු විශේෂ රාජකාරියක් නො වීමත් නිසා විදුහලේ බාහිර කටයුතුත් සමාජ සංවර්ධන
වැඩ සටහනුත් නිර්මාණය කර ගත්තා. ඒවා ක්‍රියාත්මක කිරීමේ එකම මාර්ගෝපදේශකයා වුණෙත්
මං. ඒ තුළින් අවට මැතිවරණ කොට්ඨාශවල ද සංවිධාන කටයුතු වලට කර උර දුන්නා. යමකට අත
ගැසුවොත් ඒක කාගෙන ඉදිරියට යාම මගේ සිරිතක්. විදුහල්පතිවරයා ප්‍රතිපාක්ෂිකයකු
වුවත් අභ්‍යන්තරය ගැන හිතා මගේ වැඩ කටයුතුවලට අනම්‍යව සහයෝගය දුන්නා. මේ නිසා
කිසියම් රාජකාරියක් පවරා ගෙන කල් ඇතිව පාසලෙන් පිට වී රාජකාරියත් ඉටු කර සංවිධාන
බල ප්‍රදේශයේ ගම්මාන කීපයකට ගොස් විවිධ පුද්ගලයන් හමු වී ඉදිරියේ දී ගත යුතු ක්‍රියා
මාර්ග ගැන සාකච්ඡා කළා. ඇතැමුන්ට දේශපාලනය ගැන තිබුණේ ඇල්මැරුණ ස්වභාවයක්.
සමහරුන්ට තරහක්. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ ‘කෝකා බලයට පත් වුණත් අපි හිටපු
තැනමයි’ කියල. මං ඒ එක අදහසකට වත් විරුද්ධ වුණේ නැහැ. ඔවුන්ගේ අදහස් තහවුරු
කරමින් බොහෝ දේ කීවා. අවසානයේ මං ප්‍රකාශ කළේ අපේ සහයෝගයකින් සංවිධානයකින් තොරව උන්
බලයට පත් වීමෙන් එබදු සමාජ විරෝධී ක්‍රියා ඇති වෙන බවයි. මේ නිසා අපි අපි ම
සංවිධානය වෙලා ඒ සංවිධානය මතින් කෙනෙකු බලයට පත් කළොත් ඔහුට ලේසියෙන් ගැළවෙන්නට
බැරි බවයි. එය බොහෝ දෙනෙකු පිළිගත්තා.