327. මරු විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මේ දේශපාලන කටයුත්තට සහභාගී වීමෙන් සාමාන්‍ය සමාජය සමඟ එකට ගැටෙන්නට සිදු වුණා. ඒ නිසා සාමාජිකයන්ගේ ඕනෑ එපා කම් අඩු ලුහුඩුකම් ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්නට හැකිවුණා. රාජකාරිය පසෙක ලා දේශපාලන කටයුතු වෙනුවෙන් දිවා රාත්‍රි දෙකේ වෙහෙසුණා. අමන පාලකයන්ගේ පාදඩ ක්‍රියාවන් නිසා මනුෂ්‍ය ශ්‍රමය පැය වලින් ගත්තොත් කී ලක්ෂයක් අපතේ යනවාද? ව්‍යවස්ථාදායකයට පත් වෙන දේශපාලනඥයා කියන උගුඩුවන් විධායක බලතල අතට ගැනීම නිසා රට පිරිහෙන්නට පටන් ගෙන ඇති බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. දේශපාලනඥයන්ගේ ගෞරවය නැති කරන්නේ ඔවුන් වටා සිටින සට්ටඹියන්, කෝල්මුර කරුවන්, ආවඩන්නන් හා කේළාම් කාරයන්. බලයෙන් මත් වූ දේශපාලනඥයාට අවශ්‍ය වන්නේ රටට ගමට වැඩක් කිරීමට නො වෙයි. ඒ සඳහා ජාතික ධනය නිර්ලෝභීව විනාශ කරණවා.

මගේ දේශපාලන භූමිකාව ගැන වැඩියෙන් කතා කරන්නට කැමති නෑ. හේතුව ජීවිතයේ කළ ලොකුම මෝඩ කම එය වන නිසා. අවනීතියට පක්ෂව කියන කරණ දේට ඔළුව නවාගෙන දොරටුපාල චරිතයකට පණ පෙව්වා නම් අද මං මෙතැන නොව ප්‍රබල ඇමති වරයෙක්. එහෙම නැත්නම් රජයේ කෙළි කාරයෙක්.

මට අවශ්‍යව තිබුණේ පැවති රජයට එරෙහිව ක්‍රියා කර  ප්‍රාදේශීය නායකයාට අමතක නො වන පාඩමක් ඉගැන්වීමට. ඒ සඳහා අපේක්ෂිතව ලැබුණ තනතුර ලොකු පිටිවහලක් වුණා.

එදා රැස්වීමේ දී දැනුම්දුන් පරිදි ගම් 32 කින් ක්‍රියාකාරී සාමාජිකයන්ගේ නාම ලේඛනයත් සමාජයේ සිටි වැදගත් පුද්ගලයන්ගේ නමුත් ලැබුණා. ඒ අයවලුන්ට යෝජිත ප්‍රාදේශීය බල මණ්ඩල පිහිටු වීමට අදහස් කළ ස්ථානවලට නොදුරු පන්සල් හෝ පුද්ගලයන්ගේ නිවාස වලට පැමිණෙන ලෙස පුද්ගලික මට්ටමෙන් ලියුම් යැව්වා, දිනය හා වේලාව දක්වමින්. එපමණක් නො වෙයි සංවිධායක වරයාට ඒ ඒ ස්ථානවලදී කළයුතු කථාත් ඒවට සුදුසු කරුණුත් සටහන් කර දුන්නා.

අප ගියා ප්‍රාදේශීය බල මණ්ඩලයක් පිහිටු වන්නට නගරයකට. එහි විශාල පිරිසක් රැස්ව සිටියා. බල මණ්ඩලයක් පිහිටු විමේ අරමුණ පහදමින් මං විශේෂ විස්තරයක් කළා. ඒ අනුව නිලධාරි මණ්ඩලයක් පත් කර ගත්තා. පොදු කාර්යාලයක් පිහිටුවන්නට තැනක් සොයා ගැනීමටත් ඔවුන් පොරොන්දු වුණා. මේ අයුරෙන් සෙසු ප්‍රාදේශීය බල මණ්ඩලත් පිහිටෙව්වා. එම ප්‍රා.බ.ම. නිලධරයන් රැස් කරවා මධ්‍යම බල මණ්ඩලය සැකසුණා. එහි දී ඒකඡන්දයෙන් මාව මහා ලේකම් තනතුරට පත් කර ගත්තා. තාවකාලික ලේකම් පයින්ඩය මෙසේ ආසන බලමණ්ඩලයක මහා ලේකම් තනතුර දක්වා ඉතා කෙටි කාලයකින් වෙනස් වීය. එක අතකින් සමාජය තුළින් ලැබුණ වරමක් වගේ ම මුළු ආත්මයම වංචාවකට හසු වීමක් වශයෙන් තමයි මං සලකන්නෙ. 77 මැතිවරණය වෙනුවෙන් කළ කී දෑ එකින් එක කියා පාන්නට අවශ්‍යතාවයක් නෑ. තවමත් ජීවත්ව සිටින එදා  මා සමග උරෙනුර ගැටී කටයුතු කළ අය දැනුත් හමුවෙද්දී ඔවුන් කියන්නේත් හදවතට එකඟව වැඩ කිරීම නිසා අප පරාජය වූවන් බවයි.

සෑම ගමකම ශාඛා තරුණ කාන්තා සමිති වලට අමතරව ගුරුවෘත්තිය සමිති ශාඛාවන් පාරම්පරික වෙද මහතුන්ගේ සංගමයක් හා භික්ෂු බල මණ්ඩලයක් ඇති කළා. දිනපතා රාත්‍රි මා ගෙදරට යන්නේ ඉදිරි දිනයේ කළයුතු වැඩ සටහන් ගැන පැහැදිළි සටහනක් සංවිධායක වරයාට ඉදිරිපත් කරමින්. එපමණකින් නො නැවතී යම් තැනක ජන හමුවක් පවත් වන්නේ නම් ගම්මට්ටමේ සමිතිවලින් ලබා ගත් විස්තර වාර්තා අනුව කියයුතු දේවල් ද සංවිධායකට දැනුම් දුන්නා.

මේ පිළිබඳව වැඩි දුරට විස්තර කිරීම පිළිකුල් සහගතයි. නූතන දේශපාලනයේ ඇති වංචාව, දූෂණය, භීෂණය හා අක්‍රමිකතා විලි ලැජ්ජාවකින් තොරව කරළියට පැමිණියේ 1977 අප කළ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් යන්න හිතට වැදෙත්ම ඇති වෙන්නේ චිඃ නොදෝමකින් යන හැඟීමක්.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll