“මං හිතන්නේ ප්‍රභාකරන් විජේවීර දෙදෙනාම උත්සාහ ගන්ට ඇති. නමුත්
බැරිවුණා” ඒ මගේ අදහසයි.
“ඔහෙ නෑ, උන් ඔක්කෝටම පාලකයෝ වරදාන වරප්‍රසාද දීල තිබුණේ. කෝටි ගණනින් සල්ලි
දීලා. උනුත් කළේ සමාජයට එක මුහුණක් පෙන්නා ගෙන සැප සම්පත් විදීම පමණයි. අදත්
බලනවලා කරුණා පිල්ලෙයාන් කේ.පී වගේ අය විඳින සැප. ලක්ෂ ගණන් සමූහ ඝාතන කළ
වුන්ට රජ සැප; මැති ඇමති කම්. නැති බැරි කමට කෙසෙල් කැණක් කැපූ පොල් ගෙඩියක් කැඩූ
එකාට හිර ගෙදර. කෝටි ගණං දූෂණ වංචා කළ එවුන් රටට පේන්නට අත් අඩංගුවට ගන්නවා. මෙන්න
බොලේ උන්ට ඒ ගමන් ම හැදෙනවා දහමහ දෝෂය ම. කෙළින් ම යන්නේ ගෙවන වාට්ටුවකට - පුද්ගලික
රෝහලකට. මේ හැම එකටම හේතුව නීතියේ තියෙන පජාති කම. නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගේ
කොන්ද පණ නැති කම”
විපුලෙ
දිගින් දිගට ම කියවා ගෙන යන්නට පටන් ගත් බැවින් මිලිනාට ඇසින් සංඥාවක් දුන්නා ‘තේ බොමු’ කියල. ඇයත් බිස්කට් පැකැට්ටුවක්
කඩා ඇල්ලුවා. ඒ සමගම තේත් දුන්නා. බොහෝ දෙනෙකුත් බසය තුළ නිදිකිරා වැටුණා. බුලත් විටක් කටට දමා ගත් විපුලෙ
සැනසුම් සුසුමක් හෙළා නැවත කතාව පටන් ගත්තා.
“මං ගියා හරියට ම පැය බාගයකට පස්සෙ D.E. හමුවෙන්ට. ඔහු ඒ පාර මෙහෙම
කියනවා.”
“විපුලසේන මහත්තයගෙ පැත්තෙන් බලනකොට කතාවෙ
වරදක් නෑ. අපේ පැත්තෙනුත් වරදක් නෑ. වරද කරන්නේ දේශපාලනඥයෝ. ඒවාට එරෙහිව නැගී
සිටින්නට පිට කොන්දක් නැතුවාම නො වෙයි. අපේ පුද්ගලික ජීවිතය ගැන ඔය මහත්තයා
දන්නවනම් අපි හරි කියල කියාවි. ළමයි හතර දෙනාත් පාසල් යනවා. නෝනට රැකියාවක් නෑ. ඒ
මදිවට එයාට කරුම පිළිකාවක්. වයසක අම්මයි තාත්තයි බලාගන්න වෙලා තියෙන්නෙත් මට.
ඉතින් උන්ගෙ නියෝග වලට පිටු පෑවොත් මටත් වෙන්නෙ ඔයාට සිදුවෙන දේමයි. ඈත එපිටකට
යන්න උනොත් මොන දෙයියන්ට කියන්නද?”
“කනගාටුයි සර් මං තදින් කතා කළාට. ඒත් මගේ ආරක්ෂාව වෙනුවෙන් මට ගමන් වියදම්
ලැබෙන්ට ම ඕනෑ. එතකොට කෙලින්ම පේනවා ස්ථාන මාරුව ඉල්ලූ එකකුත් නො වෙයි; කළ වරදක
දඩුවම් මාරුවකුත් නො වෙයි; මේ මාරුව දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයකට දුන්න එකක් කියල.”
අන්න එහෙම මාත් එයාගෙ ඔළුව අතගාල ටොක්කක් ඇන්න ගමන් වියදම් සහිත
ලියුමක් අරගෙන ගියා ගෙදර. පසුදාට අලුත් තැන වැඩ භාර ගන්ට යාමට අවශ්‍ය දේවල් සකස්
කරමින් සිටියදී මට හිතුණා ඉදිරි දවස් තුන වෙනුවෙන් මොනව හරි හර්තාලයක් දාන්ට.
බදාදා
උදේ යතුරු පැදියට නැංගා (එය මස්සිනා ගෙන් ඉල්ලා ගත් යතුරු පැදිය). යනව යනව තිරිප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය පසු කරමින්. කොල්ලන් කෙල්ලන් ගුරුවරුන් ගුරුවරියන් සියක් දහසක් දෙනා
දැක්කා පාරේ පාසල් වලට යන අපූරුව. මාර්ගය අසල පාසැල් තිහ හතලිහකුත් දැක ගන්නට
ලැබුණා. යතුරු පැදියේ එන්ජිමට වඩා හදවත රත් වුණා; ඊට වඩා ගැහෙන්ට පටන් ගත්තා. කෝපය
වෛරය වැනි මානසික කැළබීමට පත් වුණා. හත් අට දහදෙනෙකු මරාගෙන මැරෙන්ට තරම් කෝපයක්
හිතේ මෝදු වුණා.