මැදවච්චියේ
දී අරක්කු බාගයක් ගෙන අඩක් බීවා. දැම්මා තෝස පාරක් උළුඳූ වඩේ දෙකක් සමග. දවල් 12.30 ට පමණ පාසලට ගියේ ළමුන් වැඩි දෙනෙකු නැති නිසයි.
කුඩා
රීප්ප පටි කීපයකින් හදා තිබුණ අඩි 4 ක් පමණ පළල
ගේට්ටුව කැඩී විසිවුණේ මොටෝ සයිකලයේ ඉදිරි රෝදය වැදීමෙන්. හය හත් දෙනෙකු මේසයක්
වටා රොක් වී සිටියා. පඩිය අසළ ම සයිකලය නැවැත්තුවා. මේසය අසළට මං ගියේ ඩෙස් පුටු
කීපයක් හප්පා ගෙන. හිස් රැවුල් දික් වී අපිළිවෙළට ඇඳුම් ඇදං සිටි ඔවුන්ට පෙනෙන්ට
ඇත්තේ එක්කෝ පිස්සෙක් නැතිනම් මිනී මරුමක් කියා වෙන්නට ඇති. පලයකාට් සරමක් ඇඳ ගෙන
සිටි තට්ටයා එක පාරටම නැගිට්ටා. ඔහුගේ තොල් කට වේලිලා. කපාපු කුකුළෙකු ගැහෙන්නා සේ
ගැහුණා.
“කවුද මෙකෙ විදුහල්පති” මං සද්දයක් දැම්මා.
“ආයුබොවන්ඩ මං මං ... ...” කෙස් නැති හිස ඇත්තා
බයාදුවෙන් කතා කළා.
“මං කවුරු කියල දන්නව ද?”
“නෑ ආයුබෝවන්ඩ නෑ නෑ කොහෙත්ම දන්නෙ නෑ!”
“මේකෙ ගුරු-නිවාසයක් තියෙනව ද?”
“නෑ ආයුබොවන් නෑ”
“මට නවතින්න තැනක් තියෙනව ද?”
“එහෙම කියන්න තරම් තැනකුත් නෑ ”
“කෑම බීම ගන්න තැනක්?”
“නොම්බර තුනක් විතර යන්න ඕනෑ ටවුමට ...”
“ඒ කියන්නෙ මට තේ එකක් බොන්න ඕනෑ නම් හැතැප්ම තුනක් ටවුමට ම යන්ට ඕනෑ”
“තේ ටිකක් ඉතින් උණු කරගෙනම තමයි බොන්ට වෙන්නෙ.”
“වඩයක් බනිස් ගෙඩියක් වගේ දෙයක් කන්ට ඕනෙ උණොත්?”
“එහෙමනං ආයුබොවන් ටවුමටම තමා යන්ට වෙන්නෙ.”