“මෙහෙනම් නෑ අයියා හැබැයි අපේ ගෙදර නම් තියනවා. මොක ද උදේ මං ආවෙ මුව
මස් වගයක් අරන් දීල.”
“හුගක් ඈතද ගෙදර?”
“නෑ හැතැප්ම දෙකයි”
“උඔ යන්නෙ එන්නෙ මොකේ ද?”
“බයිසිකලයෙන්”
“මගෙත් එක්ක මොටෝ සයිකලයෙන් ගියොත් උඹේ සයිකලය ගන්ට ආයෙත් එන්ට ඕනැනේ”
“ඒකෙ ප්‍රශ්නයක් නෑ. හන්දියේ කඩේට කිව්වහම අපෙ ගමට යන එකෙකුට ඒක අරන්
යන්ට පුළුවන්”
“එහෙනම් ඒ වැඩේ කරපන්. මං ලොක්කත් එක්ක කතා කරලා එන්නම්”
වැඩ
භාර ගැනීම දැනුම් දෙන ලිපි ලොක්කාම ලියල දුන්නා. මට තිබුණේ අත්සන් කරන්ට පමණයි.
“කරුණාකරල ඔය නෝනා මහත්තෑන්ලත් යන්ට හොදයි. මං ටිකක් මුන්නැහෙත් එක්ක
කතා බහ කරලම යඤ්ඤං.”
ගුරුවරියන්
තිදෙනාත් ගුරුවරුන් දෙදෙනාත් පිට වී ගියා. ලොක්කා බොහෝම බයාදු ලෙස කතාව පටන්
ගත්තා.
“මේ සතියෙ ඉතිරි දවස් තුනේ තමුන්නැහැ මෙහෙ නාවට කමක් නෑ. ඒක මං බලා
ගන්නම්. මේක කාර්යාල කාමරය. ඊට අල්ලලා තියෙන්නෙ බඩු කාමරය. බඩු කීවට ඒකෙ තියෙන්නෙ
උදළු හතරක්, මල් බාල්දියක්, කැඩුණ ඩෙස් පුටු ටිකක්.”
“ඉතින්?”
“මං ඒක සුද්ද කරවල මං ගානෙ ම හුණු ටිකකුත් ගාලා සකස් කරලා තියන්නම්
තමුන්නැහැට නවතින්ට”
“එතකොට කෑම?”
“අර නෝනලා ඉස්සරහ ගෙදර නැවතිලා ඉන්නෙ; ඒ අය උයා පිහාගෙන කන්නෙ. මං කතා
කරල බලන්නං තමුන්නැහැටත් කැම ටිකක් දෙන්ට පුළුවන්ද කියලා.”
“ඒක හරියන් නෑ, ඒක ඒ අයට කරදරයක්. පිටින් ඇවිත් රාජකාරියෙ යෙදෙන අය කන
බොන හැටි මං දන්නවා; එහෙම නො වෙයි. අරක ඇතුළෙ තියෙන ඩෙස් බංකුවලින් දොරකඩ ලඟ
ආවරණයක් හදනවා; ඒකට යාළත්තක් බාගත්තහම මට ම උයා ගන්ට පුළුවන්.”