“සමාවෙන්න දහස් වරක් සමාවෙන්ට. හරි හරි දැන් කතාව කියන්ට” මිලිනා බයාදු ලෙසින් ඉල්ලා සිටියා.
රත්නා
වතුර බේසමක් හා තුවායක් ගෙනැවිත් මිදුලේ තැබුවා. මුහුණ සෝදා ගත් මං පියසෝමට
කීවා වීදුරුවක් ගෙන එන්ට. ඔහු වීදුරුවත් සමග දුම් දමන මස් තසිමක් ගෙනාවා. ඔහුගෙන්
ලොක්කා ගැන ගොඩක් තොරතුරු දැන ගත්තා; ගුරුමණ්ඩලයේ සෙස්සන්ගේ වං හුං ද ඔහු කීවා.
දිවා
ආහාරයෙන් පසු ගමනට පිටත් වීමට පෙර අර අම්ම තාත්තට වැන්දා. ඔවුන් දෙවියන්ගේ පිහිටයි,
තුනුරුවන්ගේ සරණයි කියා ආශිර්වාද කළා. “අපෙ මහත්තයා
ආයෙත් මෙහෙ එන්ට ඕනෑ” යි ආරාධනාත් කළා.
“රත්නාගේ ඇහේ කදුළු තියෙන්නත් ඇති” ඒ මිලිනාගේ උපහාසයක්, ඒත් විපුලෙ
ඇය දෙස රවා බලා නිශ්ශබ්ද වුණා.
“උඹේ බයිසිකලේ ගෙනාවෙ නෑ නෙ. වරෙන් ආපහු ඇල්ලෙ වැවට යන්ට.” කීවා පමණයි. ඉබ්බා දියට දමන්නාක් වගේ පියසෝම වහා ම සූදානම් වුණා.
සයිකලයේ සිටි මං එයින් බැස්සා.
“නැගපන් අල්ලා ගනින් හැඩල් එක”
“මොනවා මං!”
“එහෙනං උඹේ අරකියැ” ඒක කීවෙ හිමින්.
“වම් අත පැත්තෙ තියනවා නේද නට්ටක්?”
“ඔව්”
“ඒකට කියන්නෙ ක්ලච් එක. හෙමින් තුන් පාරක් තද කරපන් දැන් ඉක්මනින් තදකරපන්
හරිද? ඕකෙන් තමයි එන්ජිම පාලනය වෙන්නෙ. දකුණු අතේ
තියෙන්නෙ එක්සලේටරය. ඒක තමන් පැත්තට හෙමින් කරකවපන් හරි ඒක කරකැවෙන තරමට තමයි වේගය
වැඩි වෙන්නෙ. ඒක ආපහු යන්ට අතහැරියම වේගය බාල වෙනව. දැන් වම් කකුලේ ඇගිලි වලින්
ගියරය පාගනවා. එතකොට ක්ලච් එක තද වෙලා තියෙන්ට ඕනෑ. දැන් දකුණු කකුල ඔය කියන පැඩලය
තමයි බ්රේක් එක. හදිසියේ නවත්වන්ට වුණොත් එක පාරටම තද කරන්ට ඕනෑ. හැබැයි තමුනුත්
බේරෙන්ට දැන ගන්ට ඕනෑ. අහවල් තැන නවත්වනවා කියල හිතා ගත්තා නම් හෙමින් බ්‍රේක් කරණවා.
දැන්
ක්ලච් එක තදකරලා ගියර් කඩනවා බලන්ට. කකුලට දැනෙන්න ඕනෑ බෝලයක් ගැලවෙනවා වගේ.
තදකරණවා එකයි දෙකයි තුනයි හතරයි. දැන් විලුබෙන් ආපහු කඩනවා බලන්ට. කීය ද?”
“හතරයි.”
“ක්ලච්
එක අතැරලා සයිකලේ ඉස්සරහට ගන්නවා බලන්ට.”
“යනවා නේ?”