“ඒයිය! ඒකිගෙ මිනිහ මර ඇදේ, මෙතන තුරුල් වෙන්ට. මහ ගෑණි දැනගන්ට එපායැ!”
මිලිනා ආවේශ වූ එකියක මෙන් කියාගෙන ගියා.
ගොයම්
කපන පා ගන දවසෙ ඇල්ල වැවේ ගැහැණු පිරිමි ලොකු කුඩ සියල්ලන්ට ම මඟුල් දවසක්
වුණා. ස්පීකරයක් ගස් බැද ගොයම් වැඩෙහි යෙදෙන්නන්ගේ උද්යෝගය සදහා නානාප්‍රකාර
සින්දු බයිලා ඕසෙට ප්‍රචාරය කළා. කාන්තාවන් පහළොස් දෙනෙකු කයිය ඉව්වා
පාසලේ. මේ වන විට කපුරාළ සුවපත් වී ගෙදර පැමිණ සිටියා. ඒත් ජයන්ති
මුත්තෙට්ටුව සකස් කිරීමේ කටයුතු වල දී පුරෝගාමී වුණා. එය දුටු බොහෝ වයසක ගැහැණු
උදවිය කීවේ ‘ඒකි ඔහොම කරල මදි, අපෙ මහත්තයා නො සිටින්න මෙලහකට කපුවා
වළපල්ලෙ’ වගේ දේවල්.
කපා
පෑගුවා මුළු බැතය මැන්නා තිබුණා බුසල් 360 ක්. ඒවා
ඔක්කෝම කරත්ත වලින් අරන් ගිහින් ගොඩ ගැසුවේ ගමරාළගේ මඩුවේ. එදා ගමරාළ මාමා ගෙදර
හිටියෙ නෑ; උන්දෑ ලොකු කෙල්ලගෙ බඩ පිස්සි වැඩි වියට පත් වුණා කියල හොරොවුපතාන
පැත්තෙ ගමකට ගිහින්. උන්දෑ පහුවෙන් පහුවෙනිදා ගෙදර එන කොට මඩුව පුරවලා වී.
ආවෙ
නැතෑ ගමරාළ මාම වේසරමා වගේ ඉස්කෝලෙට. මාත් පෙර ගමන් ගියා.
“ඈ ආයිබොවන්! මං එදාම කීවනෙ මට එක වී අටයක්වත් එපා කියල. අහවල් ඇන්නෑවකට
ද මඩුව පුරා වී ගොඩ ගැහැව්වෙ?”
“මාමෙ මාමගෙ කුඹුර, මාමගෙ හරක්, මං වැඩ කළා විතරයිනේ. මගේ යුතුකම මං
කළා. අඩුම ගණනේ මාමටයි නැන්දටයි අවුරුද්ද පුරා කන්ටවත් වී තියාගෙන ඉතිරවා විකුණලා
මට කීයක් හරි දෙන්ට.”
උන්දෑ
කරබාගෙන ගෙදර ගියා. පහුවදා දවල් ලොකු සල්ලි මිටියක් ගෙනැවිත් දුන්නා. මං පැද්ද
මස්සිනාගෙ බයිසිකලේ එයාට ම දීල අර සල්ලි වලින් අළුත් මෝටර් බයිසිකලයක් ගත්තා.
හරස්
ප්‍රශ්න දාලා කතාව කියාගෙන යන්ට ඉඩ දෙන්නෙ නෑනෙ මෙයා. ඒ නිසා කිවයුතු වැදගත්ම
සිද්ධියක් අමතක වුණා.
“අනේ පිං අයිතිවෙයි මිලි නෝනෙ උදැල්ල නො දමා අහගෙන ඉන්නවකෝ”
කියා මං මිලිනාගෙන්
ඉල්ලා සිටියා.
“මට මොකෝ ඕනැ එකක් කියා ගන්න එකයි ඇත්තෙ” කියා
ඇය ගැස්සුවා.