“හොඳම වැඩේ සර් ඉස්සරහට ගාටන එක, තව හැතැප්මයි නේ! මං මේ හුචක්කුව තල්ලු
කරගෙන යන්නම්.”
“ඔව් ඉතින් ඒක තමයි කරන්න වෙන්නේ. වෙන අහවල් දෙයක් කියලා කරන්ටැ”
යි කියු මා.අ.නි. තම බෑගය එල්ලා ගෙන අඩි කඩන්ට පටන් ගත්ත බෝගහ
හන්දිය දක්වා. ඇත්තම දුර ප්‍රමාණය තව හැතැප්ම හතරක්.
“පව් අනේ ... ... ...” ඒ මිලිනා ගේ ශෝකයයි.
“ඇයි හිටියා නං ඒ උලමාගෙත් බෙල්ලෙ එල්ලෙන්ට ද?” විපුලෙ රවමින් කීවා.
“හරියට හරි විපුලෙ කරපු දේ. උන් මාසයකට දහස් ගණං ගන්නවා හොරට
වාර්තා ලිය ලියා. තමන් ම මාරු කරලා ගමන් වියදම් ගෙවන්න කිරිපල්ලත් අත ගාන්ට එනවට
යස පාඩම!” මං එය අනුමත කළේ එහෙමයි. “ඊට පස්සෙ මොකද වුණේ?” කියා මං ඇසුවා.
ටිකක්
වෙලා ඉදල මිනිහට සද්දෙ නො ඇසෙන සීමාව ගැන සිතා සයිකලය ස්ටාට් කරගෙන රත්නාගේ
ගෙදර ආවා.
මං
ගෙදර යනකොට පියසෝමයි රත්නායි බඩ අල්ලගෙන හිනා වෙනවා. රත්නා
යටැසින් බලමින් ඉගියෙන් විමසුවේ “මං රඟපෑවා අපූරුද?” වගේ දෙයක්.
“මට හිතා ගන්න බෑ පියසෝම මලයට මෙයා කොහොම සලකනව ද කියල”
“ඇයි අයියා?”
“නෑ අර මනුස්සයා ඉදිරිපිට මගේ පටිහතම රෝල් කළානෙ”
“පස්සෙ මටත් හිතුණ කතා කරපු හැටි සැර වැඩියි කියල”
“නෑ නෑ C.I. ට ජීවිතේට අමතක වෙන එකක් නෑ. මීට පස්සෙ ඔය වගේ පරීක්ෂණ වලට
එන එකකුත් නෑ.”
“මට නං මේ කතා අහනකොට මෙයා ළඟවත් ඉන්ට හිතෙන්නෙ නෑ. ඒ තරම් ම භයානකයි”
මිලිනා එසේ කීවේ ඇත්තට ම බිය හා සැකය මුසු දෙනෙත් මා වෙත යොමු කරමින්.
“ඉතින් කවුද අල්ලගෙන ඉන්නෙ. අර තියෙන්නෙ සීට්. යන එකනෙ තියෙන්නෙ.
මෙතෙන්ට වෙලා කුරු-කුරු නොගා.”
අවටින්
අඳුරු වැටෙමින් පවතී. රාත්‍රි නවාතැනට එදා තිබුණේ හෝටලයකි. මිලිනා වෙනදා මෙන් විපුලෙ පසු පස වැටෙන අයුරක් නො පෙනේ. ඇය විපුලෙ
නො දැක්කා සේ එහා මෙහා ගියාය. බසයේ දී ඇති වූ කතා
බහට එකට එක කිරීමකැයි මගේ සිත කියයි. ඔහු ද හිත යට කුමක් තිබුණත් පිටට එය
නො පෙන්වා අමුත්තක් නො වුණ සෙයින් කල් මරණ බවක් මට පෙනෙයි. මා ද ඒ ගැන නො විමසා
සිටියේ දෙදෙනාට ම හෝ එකෙකුට යථාර්ථය තේරුම් යා යුතුය යන හැඟීමෙන්.