ඒ
තිදෙනාගේ නිවෙස් වලට එන පාර නිවැරදිව සටහන් කර ගත්තා. මේ තෝරා ගත් අයත් ඇල්ලවැවට
සැතපුම් තිහ හතලිහක එපිට මෙපිට අය. මං ළිඳ ළඟ සිටින විට දැක්කා අවුසදහාමි
ගෙ-පිළේ ඉඳගෙන මොනවා හෝ කොටා බානවා. අතින් සන් කළා ඔහුට එන ලෙස. කෑ පත පසෙක තබා
ආවා ඊයක වේගයෙන්.
“මනුස්සයෝ කකා ඉඳල ආවෙ ඇයි කාල එන්ට එපා යැ”
“නෑ ආයුබොවන් මං හිටියේ කෑම අග්ගිස්සේ, ඉතිරි
ටික බල්ලට දාලා ආවෙ. අපෙ මහත්තයට හදිසියක් වෙන්දෑ කියලා”
“එහෙම එකක් නොවෙයි. ඔන්න මං අවුසද අයියට ගැළපෙන උන්දැලා තුන්
දෙනෙක් ම හොයා ගත්තා”
“අයියනායක දෙයියන්ට ම ඔප්පු වෙච්චාවෙ තුන්දෙනෙක් ඉන්නවා!”
“ඒ තුන්දෙනාම බලලා හොඳම එකී කියන්ඩ. එයාව සහේට ගන්න ඕනෑ සබ්බ සකලමනාව ම
මං කරන්නම්.”
“කොහොමෙයි උන්දැලා බලන්ට යන්නෙ?”
“අද අඟහරුවාදා, සිකුරාදට යනවා. හැබැයි හොඳ සූට්
එකක් මහ ගන්ට ඕනෑ”
“කොහොම එකක් ද මහත්තයෝ?”
“අපේ නැටුම් මහත්තයා අඳින්නෙ. අන්න ඒ වගේ එකක්”
“මට නං ඔව්වා තේරෙන්නෙත් නෑ”
“ඒකට කාරි නෑ. ලෑස්ති වෙලා එනවකෝ ටවුමට යන්න මාත් එක්ක.”
ටවුමේ
සිටි හොඳම ටේලර්ට ජාතික ඇඳුම් දෙකක් මස්සවන්නට මිමි දුන්නා.
“අපෙ මහත්තයටත් කලිසමක් මස්සවා ගමු මෙතැනින්ම.”
“අපෝ මට එපා” කියා එය බැහැර කළා. අවුසදහාමි
සමග පැවති ඇයි හොදැයිය සමහරෙකුගේ හිතට ඇල්ලුවේ නැහැ. ඒකට හේතුව තමයි ඔහුගෙන් තඹ
සතේක ගනු දෙනුවක් කර ගන්නට නො හැකියාව. ‘මසුරු සිටානෝ’ කියලයි ඇතැමුන්
හැඳින් වූයේ; නමුත් පියසෝම ‘වැඩක් බලාගෙන ජීවත් වෙන කෙනෙකු’ කියලා. මං ඔහුට
කීවා කරන්ට යන මඟුල ගැන. එයා සන්තෝෂ වුණා. අවශ්‍ය නම් ඕනෑම උදව්වක් පදව්වක්
කරන්ටත් පොරොන්දු වුණා. හා පුරා කියා බලන්ට ගිය මනාලියම ජෝඩු වුණා. පත්තරයක තිබුණ
සුභ මුහුර්තියක් තමයි මඟුලට නැකත වශයෙන් තෝරා ගත්තේ. ගමනට පියසෝමයි,
රත්නයි,
මමයි විතරයි. ඒකට කාරයක් කුලියට
ගත්තා. වැඩි ආරළු බුරළු නැතිව නගරයේ සිටි රෙජිස්ටාර් වරයෙකු ළඟ නිත්‍යානුකූලව කසාද බැඳ ගෙදරට
කැන්දන් ආවා සුගුණවතී.