“ඉතින් මේ දෙන්නා යවල අලුතෙන්
ගුරුවරුන් ගෙන්වා ගනිමු. එතකොට ලස්සනට පාසැලේ කටයුතු කරගෙන යන්න පුළුවන්”
“එහෙම කරමු මහත්තයෝ ටිකක් ඉවසන්ට හොඳා”
දවස්
නවයක් ගතවුණා. දහවැනි දවසේ ගුරුවරුන් හතර දෙනෙක් ආවා. අළුත් පත්වීම්. එයින්
දෙදෙනෙකුම භික්ෂූන්. පාසල කප පායපු තේකට ගුරුවරියන් ඉදල නෑ. එහි අඩුව මට ද අත්
දකින්නට ලැබුණේ සිසුවියන් දෙදෙනෙකු මල්වර වීම නිසා. මගේ පොරෝණයකින් වසාගෙන සයිකලයේ
ගෙන ගොස් මව් පියන්ට බාර දුන්නා. මේ ගැන කී විට කාර්යාලයෙන් කීවේ ගුරුවරියන්
එවන්නට පිළිවන්, නමුත් ඒ අයට නවතින්නට තැනක් නෑ කියලයි.
දවසක්
පන්තියක වැඩ කරමින් සිටිය දී යතුරු පැදියකින් මහතෙකු හා මහත්මියක ආවා. මං සිතුවේ
ගමේ දෙන්නෙක් කියා. නමුත් ඔවුන් කලාවැව අසල පාසලක සිටි වීරමලේට මාරු
කරල. වැදගත්ම වැඩේ තමයි ගුරුවරිය අටමස් ගැබිණියක් විම.
දෙන්නටම
වැඩ භාරදුන්නා. තියෙන හැටියට දෙන්නටම කන්ටත් දුන්නා. අවසානයේ මෙහෙම කිවුවා.
“කරුණාකරල මේ නෝනා අරන් යන්ට.
පාසලට එන්ට එපා. මහත්තයා නෝනගෙ අත්සනත් ගහන්ට. යමු මාත් එන්නම් කන්තෝරුවට. කියන්ට
තියෙන දේ මං කියන්නම්.”
“මං හිතන්නෙ බඩදරු අම්මණ්ඩි කෙනෙක් නිසා වෙන්ට ඇති නවත්වා ගත්තෙ නැත්තෙ”
එම කට කැඩිච්ච කතාව කීවේ මිලිනා.
“ඔව් ඒකත් වෙන්ට පුළුවන්. ඒ අයමනේ කීවේ ගුරුවරියන් එවන්නට පුළුවන් ඒත් ඒ
අයට නවතින්ට දෙන්ඩ තැනක් නෑ කියල. එහෙම නං අටමස් ගැබිණයක් එවපුවහම එයාට නවාතැන්
දෙන්නේ කොහේ ද? විටින් විට සිදුවන අසනීප වලට ප්‍රතිකාර
ලබා දෙන්නේ කොහොම ද? හදිසියේ දරු ප්‍රසූතියක් නම් කරන්නේ
මොකක් ද?”
“ඉතින් අනේ ඒ අහළ පහළ ගෑණු වදන්නෙ නැද්ද? ඒ ගොල්ලන්ට ඔය ප්‍රශ්නය නැද්ද?”
“වදලා තියෙනවා. ගුරුවරියගෙ ආසන්නම සේවා යෝජකයා මං. කරදරයක් වුණොත් ඒකට
කළයුතු දේ කළයුත්තෙත් මං. ගමේ ගෑණියකයි ගුරුවරියකයි දෙස එක විදියට බලන්ට බෑ. වෙනත්
පාසලක ළමයිනුයි තමන්ගේ පාසල් ළමයිනුයි දෙස එක විදියට බලන්ට බෑ.”
කාරණය
දුර දිග යන්නට අර අඳින බව පෙනුනෙන් “ඉතින් අර නෝනලාත් එක්ක අධ්‍යාපන කාර්යාලයට ගියා දැ” යි ඇසීමි.
“ගියා, නො ගිහින් ඉන්ට මං. ‘මෙහෙ වරෙන්’ කියා
අර නෝනගෙ අතින් ඇදල ගත්තා අධ්‍යක්ෂකගේ ඉස්සරහට ම” ඇහැව්වා
මෙහෙම.
“අධ්‍යක්ෂක තුමාට මව් කෙනෙක් ඉන්නවද?”