120. හිතෝපදේශය | 02 | රජා ළං කර ගන්නේ මෝඩයන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සංජීවක හමුවට ගිය දමනක කියා සිටියේ රජාගෙන් කිසිදු සහනයක් බලාපොරොත්තු නො විය හැකි බවයි. ඇතැම් විට ඔබ දැකීමෙන් අදහස් වෙනස් කරගන්නට ද ඉඩ ඇති බව දක්වා, ඔහුත් සමග රජු බැහැදකින්නට ගියේ ය. සිංහයාගේ අමුතු ගති ලක්ෂණ සංජීවක දුටුවේ ය. එයින් සිංහයාගේ අපේක්ෂාව වටහාගත් සංජීවක ද ඊට සුදුසු පරිදි සිය පැවැත්ම සකසා ගත්තේය. සටනේ ආරම්භයට ගියේ සුළු මොහොතකි. ඊටත් පෙර සිංහයාගේ තියුණු දත්වලට සංජීවක ගොනාගේ උගුරු දණ්ඩ එළියට පැන්නේය. ගොණා මළේ ය.

තම හිතමිතුරු සංජීවගෙ මරණය පිංගලකගේ සිතට මහා වදයක් විය. බලවත් සේ ශෝකයට පත් ඔහු ඉවතට ගොස් සුසුම් ලෑවේය. “ෂඃ මං මහා අපරාධයක් නො වැ කළේ–මේක නම් සහගහන අපරාධයක්!” යැයි කොඳුරමින් මෙවන් තත්ත්වයක් උද්ගත වන්නට හේතු කවරේදැයි විමසා බලන්නට විය.

සිංහයන් ඇතුන් මරණවා. ඔවුන්ගේ දළ ගන්නේ වෙනත් අය. රජුන් රාජ ධර්මයන් අභිබවා කටයුතු කරනවා. ඒවායෙහි ලාභ ප්‍රයෝජන ගන්නෙ වටේ සිටින උන්. සිංහයාටත් රජාටත් ලැබෙන්නේ ගර්හාවත් පාපයත් පමණයි.

රාජධානියෙන් කොටසක් අහිමි වීමත්, ගුණවවත් නැණවත් සේවකයකු ගේ විනාශයත්, රජකු මරණයට පත් වූවාක් හා සමානයි. අහිමි වූ භූමිය නැවත සටන් කර හෝ ලබා ගත හැකියි. එහෙත් සේවකයෙකු අහිමි වූවහොත් ඒ අඩුව මොන ම අයුරකින්වත් සපුරා ගත නො හැකියි.

 අයිනක් අල්ලාගෙන දෑසෙන් පනින කඳුළු අතරින් එසේ දුඃක ශෝකාලාපයක වෙළී සිටි පිංගලක රජු දුටු දමනක බයාදු ලීලාවෙන් මෙසේ ඇසීය:

“දේවයන් වහන්ස! තමන්ට එරෙහිව ආ සතුරා නසා දැමුවා උතුමන් සිටින්නේ බලවත් ශෝකයක. මෙය අපේ පැරණි නීති පොත්වල සඳහන් නො වුණ කරුණක්. අලුතෙන් අනුමත කළ ගැසට් නීතියක් දැයි කියා තමා මගේ හිතේ සැකයක් ඇති වෙන්නේ. ඒ සැකයේ ස්වභාවය පැරණි නීති සංග්‍රහවල මෙන්න මෙහෙමයි සඳහන් කර ඇත්තේ:

පුතා රාජෛශ්චර්යයෙන් බබලනවා. එය දකින පියා තනතුරු ලෝභයෙන් ඊර්ෂ්‍යාවෙන් පෙළී රජකම් කරන පුතා මරන්නට උපක්‍රම යොදනවා. රජ ඉසුරු විඳින සොයුරා කෙරෙහි ඇතිකර ගන්නා වෛරය නිසා ඔහුව මරා දමන්නට තවත් සොයුරෙකු වලි කනවා. ප්‍රාණප්‍රිය මිත්‍රයෙකැයි ළෙන්ගතුව ආශ්‍රය කළ මිත්‍රයා, මිත්‍රයා වූ තමන් නහන්නට උපක්‍රම යොදනවා. අන්න එවන් පියා පුතා සොහොයුරා හෝ මිත්‍රයා දුටු තැන මරා දැමිය යුතු ම යි.

තවත් ක්‍රමයකින් එම තත්ත්වය පහදා දී ඇත්තේ මෙහෙමයි ස්වාමීනි!

ධර්මය කියා කියන්නේ මෙවැන්නකටයි කියා යථා ස්වභාවය දන්නා, ධනය නම් මෙයය - උපයන්නේ මෙසේය - රැක ගන්නේ මෙපරිද්දෙන් ලෙස අවබෝධයක් ඇති, හිතගත් ස්ත්‍රිය කෙරෙහි ඇළුණු පුද්ගලයා ගෙන් කරුණාවක් බලාපොරොත්තු විය නො හැකිය. ඒ එම සියල්ල ම සිදුවන්නේ අකරුනාව තුළින් වන බැවිනි. බඩ සයින් පෙළුණත් ඉවසන තැනැත්තාට අතට පත් බත් පත හෝ නො කා සිටිය හැකියි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll